Sri Lanka's Premier Platform for Higher Education Research
ResearchHub.lk Articles,Buddhist philosophy අභයරාජ සූත්‍රය ඇසුරින් ගැටුම් නිරාකරණය: ඵලදායී සන්නිවේදන රහස්

අභයරාජ සූත්‍රය ඇසුරින් ගැටුම් නිරාකරණය: ඵලදායී සන්නිවේදන රහස්

Secrets to Effective Communication

සන්නිවේදනය යනු ලොව සියලු සත්වයන්ගේ, විශේෂයෙන්ම මානවයාගේ පැවැත්මට හා සංවර්ධනයට අත්‍යවශ්‍ය මූලික ක්‍රියාවලියකි. එය හුදු තොරතුරු හුවමාරුවකට එහා ගිය සංකීර්ණ යාන්ත්‍රණයක් වන අතර, පුද්ගලාන්තර (intra-personal) අවබෝධය මෙන්ම අන්තර් පුද්ගල (inter-personal) සබඳතා ගොඩනැගීමට හා පවත්වාගෙන යාමට මහඟු පිටුවහලක් සපයයි. පුද්ගලයෙකු තමාගේ අදහස්, හැඟීම්, දැනුම සහ අත්දැකීම් අන් අය සමඟ බෙදාගැනීමෙන්, අන් අයගේ අදහස් තේරුම් ගැනීමෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධය තුළින් සමාජයීය ජීවියෙකු ලෙස සාර්ථකව කටයුතු කිරීමට සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ.

මූලික වශයෙන් සන්නිවේදනය වාචික සන්නිවේදනය (Verbal Communication) සහ අවාචික සන්නිවේදනය (Non-verbal Communication) ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය. කතා බහ, සාකච්ඡා, දේශන සහ ලිඛිත සන්නිවේදනය වාචික සන්නිවේදනයට අයත් වන අතර; ශරීර භාෂාව (body language), මුහුණේ ඉරියව්, ස්වරය, අත්සන් (gestures) සහ ස්පර්ශය වැනි දෑ අවාචික සන්නිවේදනයට ඇතුළත් වේ. මෙම සන්නිවේදන ක්‍රම ද්විත්වයම එකිනෙකට අනුපූරක වෙමින්, මිනිසුන් අතර සිදුවන එදිනෙදා සන්නිවේදනයට ප්‍රබල දායකත්වයක් සපයයි.

ඵලදායී සන්නිවේදනයක් යනු හුදෙක් තොරතුරු සරලව ලබා දීමක් පමණක් නොව, එය තොරතුරු ලබා දෙන සහ ලබා ගන්නා දෙපාර්ශවය අතර නිවැරදි අවබෝධයක් ගොඩනැගීමයි.

අවාසනාවකට මෙන්, බොහෝ අවස්ථාවලදී පුද්ගලයන් සන්නිවේදනයේදී “අවශ්‍ය දේ” සහ “අනවශ්‍ය දේ” කුමක්දැයි හඳුනා නොගෙන කටයුතු කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයන් තේරුමක් නොමැතිව, අනුන්ගේ යහපතට හේතු නොවන අයුරින්, හෝ අනුන්ට හානිකර විය හැකි අයුරින් අදහස් ප්‍රකාශ කිරීමට පෙළඹේ.

මෙවැනි සන්නිවේදන රටා නිසා සමාජය තුළ, වෘත්තීය පරිසරය තුළ මෙන්ම පවුල් සංස්ථාව තුළද බරපතළ ගැටලු රැසකට මග පාදයි. සමාජය තුළ පදනම් විරහිත කටකතා පැතිරවීම, අසත්‍ය තොරතුරු සමාජගත කිරීම, අනවශ්‍ය විවාද ඇවිලවීම, පුද්ගලයන්ගේ ගෞරවයට හානි කිරීම සහ සමාජය තුළ අනවශ්‍ය භේද ඇති කිරීම මේ මගින් සිදුවිය හැකියි. වෘත්තීය පරිසරය තුළ නම්, කාර්යාලය තුළ අනවශ්‍ය ඕපාදූප කතා කිරීම, සගයන් පිළිබඳ පෞද්ගලික තොරතුරු හෙළි කිරීම, වෘත්තීය රහස් අනවසරයෙන් පැවසීම, හෝ තමන්ට අයත් නැති කාර්යයන් පිළිබඳව අනවශ්‍ය ලෙස අදහස් ප්‍රකාශ කිරීම නිසා විශ්වාසය බිඳී යාම, ගැටුම් ඇතිවීම, සහ ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට බාධා ඇතිවිය හැකියි. පවුල් සංස්ථාව තුළද පවුලේ සාමාජිකයන් අතර ඇති පෞද්ගලික කරුණු පිටස්තරයන් සමඟ බෙදාගැනීම, එකිනෙකාට අනවශ්‍ය ලෙස චෝදනා කිරීම, අතීතයේ සිදුවූ අමතක කළ යුතු දේ නැවත නැවත සිහිපත් කිරීම, හෝ සංවේදී කරුණු පිළිබඳව අනුන්ගේ හැඟීම් නොසලකා කතා කිරීම නිසා පවුල් සබඳතා පළුදු වී, ආරවුල් ඇති වී, පවුල් සංස්ථාව තුළ සාමය බිඳී යා හැකියි.

මෙම තත්ත්වයන් මගින් පෙන්වන්නේ සන්නිවේදනයේ අරමුණ, අවශ්‍යතාවය සහ ප්‍රතිඵලය පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැතිව කටයුතු කිරීම කෙතරම් අහිතකර ප්‍රතිවිපාක ගෙන දිය හැකිද යන්නයි.

මෙම අත්‍යවශ්‍ය මානව සන්නිවේදනය ඵලදායී ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව, බුදුරජාණන් වහන්සේ විසින් අභයරාජ කුමාරයාට දේශනා කරන ලද මජ්ජිම නිකායේ දැක්වෙන අභයරාජ සූත්‍රයේ අන්තර්ගත වන වචන භාවිතයේ ප්‍රතිපත්ති බෙහෙවින් අදාළ වේ. මෙම සූත්‍රය, මානවයාගේ සන්නිවේදනය ධනාත්මකව හා යහපත් ලෙස මෙහෙයවා ගත හැකි ආකාරය පිළිබඳව අවවාද සපයන උතුම් ධර්මයක් ලෙස සැලකිය හැකිය.

මෙම අභයරාජ සූත්‍රය කතන්දරයක් ලෙස දිගහැරී දාර්ශනික පදනමකට අවතීර්ණ වන්නේ කතා කලයුතු හෝ නොකල යුතු දේ කුමක්ද යන්න පිලිබඳව සහ යමක් පැහැදිලි කලයුතු නියම වේලාව කුමක්ද යන්න පිළිබඳව බුදුන් වහන්සේ විස්තර කරන කොටසදීය. බුදුන් වහන්සේ යහපත් ඵලදායී සන්නිවේදනය සිදුකරන ආකාරය කරුණු හයකින් විස්තර කරයි. එහිදී බුදුන් වහන්සේ යම් කරුණක් හෝ සිද්ධියක් ප්‍රකාශ කිරීමේදී එම වචනය හෝ සිද්ධිය සත්‍ය ද, ප්‍රයෝජනවත් ද, අනුන්ට ප්‍රිය ද යන නිර්ණායක පදනම් කර ගන්නා අතර කතා කළ යුතු අවස්ථා සහ නොකළ යුතු අවස්ථා ද විග්‍රහ කොට දක්වයි.

බුදුන් වහන්සේ අභයරාජ කුමාරයාට කතා කලයුතු හා නොකල යුතු අවස්ථා පහත පරිදි විග්‍රහ කොට දක්වයි.

01

යං තථාගතො වාචං ජානාති අභූතං අතච‍්ඡං අනත්‍ථසංහිතං, සා ච පරෙසං අප‍්පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති.

යම් කතාවක් බොරුවක් නම්, ඇත්ත නැත්නම්, ප්‍රයෝජනවත් නැත්නම්, සහ අනුන්ට අප්‍රියයි, අකැමැති නම්, එවැනි කතාවක් තථාගතයන් වහන්සේ කතා නොකරන සේක. (බොරු, නිෂ්ඵල, අප්‍රිය දේ කියන්නේ නැත.)

ඔබට එය තේරුම් ගැනීමේ පහසුව තකා උදාහරණ දෙකකින් පහත විසිතර කරමි. (මෙම උදාහරණ බුද්ධ දේසිත උපමා කතා නොවන අතර ඔබට තේරුම් ගැනීම පහසුව තකා නිර්මාණය කරන ලද කල්පිත කතා බව සලකන්න)

උදාහරණ 1: සාර්ථක පවුලක් බිඳවීම සඳහා භාවිත වන කතාවක්

දිනක් සුමනා නැන්දා ඉෂාරා හමුවූ විට මෙසේ පැවසුවා: “අනේ දුවේ, මං මේ දැක්ක දෙයක් නිසා පොඩ්ඩක් කියන්න හිතුණා. අර කඩේ ළඟදී මං දැක්කා නිමල් වෙන නුහුරු කෙල්ලෙක් එක්ක හිටියා. එයා හරි අමුතු විදිහට හැසිරුණේ. අර කමල්ගේ ගෙදර පැත්තට යන පාරට හැරුණා… අහ්, මං දැක්කා කිව්වා කියලා එයාට කියන්න නම් එපා හොඳේ! සමහර විට මට වැරදෙන්න ඇති…”

ඇත්ත වශයෙන්ම නිමල් ගියේ තම රැකියා ස්ථානයේ අවශ්‍යතාවයකට මිතුරෙකු හමුවීමටයි. නිමල්ට ගැහුණු ලමයෙකු හමුවූයේ නැත. සැබවින්ම නිමල් ගියේ ආතනයේ තමා හා එකට සේවය කරන කමල් මුනගැසීමටය. නමුත් සුමනා නැන්දා කළේ සත්‍යය විකෘති කර, කිසිදු පදනමක් නැති සැකයක් ඉෂාරාගේ සිතේ ඇති කිරීමක් සිදුකොට ඇත. මෙම කතාව ඇසීමෙන් ඉෂාරාගේ සිතට සැකයත්, අප්‍රියතාවයත් ඇති වන අතර, නිමල් කෙරෙහි ඇය තුළ තිබූ විශ්වාසය බිඳී යාමට ඉඩ ඇත. මේ ආකාරයේ කතාවලින් පවුල තුළ අරගල ඇති වී, විවාහ සම්බන්ධය පවා බිඳී යා හැකියි.

මෙහිදී මෙම කතාවට අවදානය යොමුකල විට මෙම කතාව සැබවින්ම බොරුය. (සත්‍ය නොවේ), එසේම කිසිවෙකුට ප්‍රයෝජනවත් නැත. (කිසිවෙකුට යහපතක් සිදු නොවේ, පවුලක් කඩයි), තවද අනුන්ට (ඉෂාරාට, නිමල්ට) අප්‍රිය ද වේ.

උදාහරණ 2: හොඳ සේවකයෙකු කෙරෙහි ඉහල කළමනාකාරිත්වය බිඳවීම සඳහා භාවිත වන කතාවක්

මහේෂ් යනු තම රැකියාව හොඳින්, කැපවීමෙන් කරන සේවකයෙක්. ඔහුගේ ඉහළ නිලධාරී සිල්වා මහතා මහේෂ් ගැන හොඳින් දැන සිටින අතර, ඔහුට යම් විශ්වාසයක් තබා ඇත. නමුත් මහේෂ්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන තවත් සේවකයෙකු වන ප්‍රියන්ත, මහේෂ්ව පහත හෙළීමට අවස්ථාවක් සොයමින් සිටියා.

දිනක් ප්‍රියන්ත, සිල්වා මහතා හමු වී මෙසේ පැවසුවා: “සර්, අපේ මහේෂ් හොඳට වැඩ කරනවා තමයි. ඒත් එයා ඔය කරන්නේ සර් බලන් ඉන්නකොට විතරයි. සර් නැති වෙලාවට හරියට කම්මැළියි. තව දෙයක්, එයා මේ දවස්වල වෙන කම්පැණි වලටත් ජීව දත්ත (CV) යවනවා මම දැක්කා. එයා වැඩි කල් මෙහෙ ඉන්න එකක් නෑ. අනේ මන්දා මේවා කියන්න හොඳ ද මන්දා…”

මෙහිදී ප්‍රියන්ත පවසන්නේ සත්‍ය නොවන (මහේෂ් එසේ කම්මැළි නැත, වෙන රැකියාවක් සොයන්නේද නැත) සහ අතිශයෝක්තියට නැංවූ කරුණු ය. ඔහුගේ අරමුණ වන්නේ ආයතනයේ ඉහල නිලධාරියා වන සිල්වා මහතාගේ සිතේ මහේෂ් කෙරෙහි සැකයක් ඇති කොට, ඔහුගේ විශ්වාසය බිඳ දැමීමයි. මේ ආකාරයේ කේළම් කතා මගින් කළමනාකාරීත්වය තුළ හොඳින් සේවය කරන සේවකයන් පිළිබඳව වැරදි මත ඇති කර, ඔවුන්ගේ රැකියා අවස්ථා අවහිර කිරීමට හෝ ඔවුන් කෙරෙහි තිබූ විශ්වාසය නැති කිරීමට පුළුවන.

මෙහිදී මෙම කතාවකෙරෙහි අවධානය යොමු කිරීමේදී මෙම කතාව බොරුය. (සත්‍ය නොවේ. විකෘතියකි) එසේම ප්‍රයෝජනවත් නැත. (ආයතනයට හෝ සේවකයාට යහපතක් නොවේ) තවද අනුන්ට (මහේෂ්ට, සිල්වා මහතාට) අප්‍රිය ජනකය.

පලමු කරුණින් බුදුන් වහන්සේ පවසන්නේ සැබෑ සංසිද්ධීයකි. බුදුන් වහන්සේ කිසි විටකත් එවැනි කතා කිසිවෙකුට නොපවසන සේක. ඒ එමගින් කිසිවෙකුටවත් අර්ථයක් නොවන නිසාය. මෙම පලමු සිද්ධිය අදාලව මවිසින් ඉදිරිපක් කරන ලද උදාහරණ දෙකේම කතා අසත්‍ය වන අතර යහපත පිනිස ද හේතු නොවේ. එසේම අසන්නට ප්‍රියතාවයක් ද, නොමැත. එනිසා මෙවැනි කතා සිදුනොකිරීම ඉතා වැදගත් වේ.

02

යම‍්පි තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අනත්‍ථසංහිතං. සා ච පරෙසං අප‍්පියා අමනාපා, තම‍්පි තථාගතො වාචං න භාසති.

යම් කතාවක් ඇත්තක් වුවත්, ප්‍රයෝජනවත් නැත්නම්, සහ අනුන්ට අප්‍රියයි, අකැමැති නම් – එවැනි කතාවක්ද තථාගතයන් වහන්සේ කතා නොකරන සේක. (ඇත්ත වුවත්, නිෂ්ඵල හා අප්‍රිය දේ කියන්නේ නැත.)

මෙය සරලව තේරුම් ගැනීම සඳහා පහත උදාහරණ කතා දෙක දක්වා ඇත.

උදාහරණ කතාව 1: පෙනුමේ අඩුපාඩුවක් පිළිබඳ ඇත්ත, එහෙත් නිෂ්ඵල හා අප්‍රිය කතාවක්

රජිත සහ සුමිත් කාර්යාලයේ වැඩ කරන මිතුරන්. ඔවුන් සමඟ වැඩ කරන අනුරට මුහුණේ කැළලක් තිබෙනවා. එම කැළල අනුරටවත් අනුරගෙ බිරිඳටවත් ගැටළුවක් නොවෙයි. එම කැළල සැබවින්ම ඇති දෙයක්, එනම් එය සත්‍යයක්.

දිනක් රජිත, සුමිත්ට මෙසේ පවසනවා: “අනේ බලපන්කො අනුරගේ මූණේ තියෙන කැළල, ඒක නම් කවදාවත් හොඳවෙන එකක් නෑ නේද?”

දැන් අපි බලමු මේ කතාව බුද්නු වහන්සේ දේශනා කළ දෙවන කරුණට ගැළපෙනවාද කියා

කතාව ඇත්තක් ද?

ඔව්, අනුරගේ මුහුණේ කැළලක් තිබීම ඇත්තක්.

කතාව ප්‍රයෝජනවත් නැත්ද?

ඔව්, මේ කතාව කිසිම ආකාරයකින් ප්‍රයෝජනවත් නැහැ. අනුරට එම කැළල වෙනස් කළ නොහැකියි, එම කතාව ඇසීමෙන් අනුරට කිසිදු යහපතක් සිදු නොවේ. එය හුදෙක් ඔහුව අපහසුතාවයට පත් කිරීමක් හෝ වේදනා ගන්වීමක් පමණයි සිදුවන්නෙ.

කතාව අනුන්ට (අනුරට) අප්‍රිය ද?

ඔව්, තමාගේ පෙනුමේ ඇති සංවේදී දෙයක් ගැන තව කෙනෙක් එලෙස කතා කරනවා ඇසීම අනුරට ඉතා අප්‍රිය විය හැකියි.‍

මේ අනුව, මෙම කතාව ඇත්තක් වුවත්, එයින් කිසිදු ප්‍රයෝජනයක් නැති අතර, අනුන්ට (අනුරට) අප්‍රියයි. එබැවින්, අභය සූත්‍රයේ දෙවන කරුණට අනුව, එවැනි කතාවක් ද, තථාගතයන් වහන්සේ කතා නොකරන සේක.

උදාහරණ කතාව 2 : යමෙකුගේ දුෂ්කර තත්ත්වයක් පිළිබඳ ඇත්ත, එහෙත් නිෂ්ඵල හා අප්‍රිය නිරීක්ෂණයක්

ගමේ සිටින චමිලා සහ මාලනී මිතුරියන් දෙදෙනෙක්. ඔවුන් අසල නිවසේ සිටින තනිව ජීවත්වන, ආර්ථික අපහසුතා ඇති වැඩිහිටි කාන්තාවක් වන ශාන්ති නැන්දා ගැන චමිලා මාලනීට මෙසේ පවසනවා: “අනේ අපේ ශාන්ති නැන්දා කොච්චර අසරණද, තනියම ගොඩක් දුක් විඳිනවා. එයාට කවුරුවත්ම උදව් කරන්නෙත් නෑ.” චමිනා මෙම කතාව මාලනීට විතරක් නෙවෙයි ශාන්ති නැන්දා දකින හැම වෙලාවෙම ඒ අසලින් යන අයට පවසනවා.

දැන් අපි බලමු මේ කතාව දෙවන කරුණට ගැළපෙනවාද කියා

කතාව ඇත්තක් ද?

ඔව්, ශාන්ති නැන්දා තනිව ජීවත්වන, ආර්ථික අපහසුතා ඇති අසරණ කෙනෙක් වීම ඇත්තක්.

කතාව ප්‍රයෝජනවත් නැත්ද?

චමිලා මේ කතාව පැවසීමෙන් ශාන්ති නැන්දාගේ තත්ත්වය වෙනස් වන්නේ නැහැ. එය හුදෙක් පවතින දුක්ඛිත යථාර්ථය නැවත ප්‍රකාශ කිරීමක් පමණයි (කිසිදු උපකාරයක් කිරීමේ අදහසකින් තොරව නම්). මෙය කතා කරන අයට හෝ අසන අයට හෝ ශාන්ති නැන්දාට කිසිදු ප්‍රයෝජනයක් ගෙන එන්නේ නැහැ.

කතාව අනුන්ට (ශාන්ති නැන්දාට) අප්‍රිය ද?

ඔව්, තම අසරණකම සහ දුක තව කෙනෙක් එලෙස අනුකම්පා සහගතව (නමුත් නිෂ්ඵලව) ප්‍රකාශ කරනවා ඇසීම ශාන්ති නැන්දාට අප්‍රිය, අකැමැති, සමහර විට වේදනාකාරී දෙයක් විය හැකියි.

මේ අනුව, මෙම කතාව ඇත්තක් වුවත්, එයින් කිසිදු ප්‍රයෝජනයක් නැති අතර, අනුන්ට (ශාන්ති නැන්දාට සහ පොදුවේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන අයට) අප්‍රිය විය හැකියි. එබැවින්, අභය සූත්‍රයේ දෙවන කරුණට අනුව, එවැනි කතාවක්ද තථාගතයන් වහන්සේ කතා නොකරන සේක.

මෙම උදාහරණ මගින් පැහැදිලි කරන්නේ, වචනය භාවිතා කිරීමේදී එය සත්‍ය වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, එය අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් විය යුතු අතර, අනුන්ට අප්‍රිය දේ ප්‍රකාශ කිරීමෙන් හැකිතාක් වැළකී සිටිය යුතු බවත්ය (විශේෂයෙන් එයින් කිසිදු ප්‍රයෝජනයක් නොලැබේ නම්)

3

යඤ‍්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අත්‍ථසංහිතං සා ච පරෙසං අප‍්පියා අමනාපා, තත්‍ර කාලඤ‍්ඤෑ තථාගතො හොති තස‍්සා වාචාය වෙය්‍යාකරණාය.

යම් කතාවක් ඇත්තක් නම්, ප්‍රයෝජනවත් නම්, නමුත් අනුන්ට අප්‍රියයි, අකැමැති නම් – එවිට එම කතාව කතා කිරීමට සුදුසුම කාලය (කාලය පිළිබඳ ඥානය ඇතිව) තථාගතයන් වහන්සේ විසින්ම තෝරා ගන්නා සේක. (ඇත්ත, ප්‍රයෝජනවත් එහෙත් අප්‍රිය දේ, සුදුසුම වෙලාව බලා පවසයි).

අභය සූත්‍රයේ තුන්වන කරුණ වන “යම් කතාවක් ඇත්තක් නම්, ප්‍රයෝජනවත් නම්, නමුත් අනුන්ට අප්‍රියයි, අකැමැති නම් – එවිට එම කතාව කතා කිරීමට සුදුසුම කාලය, තථාගතයන් වහන්සේ විසින්ම තෝරා ගන්නා සේක” මෙහි තේරුම් ගැනීමට සරල උදාහරණ කතා දෙකක් පහත දක්වා ඇත.

උදාහරණ කතාව 1: සෞඛ්‍යයට අහිතකර පුරුද්දක් ගැන ඇත්ත, ප්‍රයෝජනවත් නමුත් අප්‍රිය අවවාදය

කමල්ට දිනපතා දුම්පානය කිරීමේ පුරුද්දක් තිබෙනවා. මෙය ඔහුගේ සෞඛ්‍යයට අහිතකර බව වෛද්‍යවරුන් පවා පවසා තිබෙනවා. මෙය ඇත්තක් වන අතර, මෙම පුරුද්ද නැවැත්වීම කමල්ගේ අනාගත සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වේ. නමුත් දුම්පානයට ඇබ්බැහි වූ කමල්ට මෙම පුරුද්දේ භයානකකම ගැන පැවසීම හෝ එය නැවැත්වීමට බල කිරීම අප්‍රිය, අකැමැති දෙයක් විය හැකියි. ඔහු සමහර විට කෝප වීමට හෝ තවදුරටත් එම පුරුද්දටම යොමු වීමට ඉඩ ඇත.

කමල්ගේ මිතුරියක් වන අනෝජා, කමල්ගේ තත්ත්වය ගැන අවංකවම කනස්සල්ලට පත්ව සිටිනවා. ඇයට අවශ්‍ය කමල්ට මේ පුරුද්දෙන් මිදීමට උදව් කිරීමටයි (කතාව ප්‍රයෝජනවත්). නමුත් ඇය දන්නවා කෙලින්ම ගිහින් “ඔයා දුම්බීම නවත්වන්න ඕනේ, නැත්නම් ඔයාට ලෙඩ වෙයි” කියලා රළු විදිහට කිව්වොත් කමල් එයට සවන් නොදෙන බවත්, ඔහුට එය ඉතා අප්‍රිය වන බවත්.මෙවැනි අවස්ථාවක, අභය සූත්‍රයේ තුන්වන කරුණට අනුව, අනෝජා කළ යුත්තේ එම ඇත්ත සහ ප්‍රයෝජනවත් කතාව, කමල්ට අප්‍රිය විය හැකි නිසා, සුදුසුම කාලය සහ ක්‍රමය බලා පැවසීමයි.

නුසුදුසු කාලය:

කමල් සිටින්නේ පිරිසක් මැද නම්, නැතහොත් ඔහු අධික ලෙස ආතතියෙන් හෝ කෝපයෙන් සිටින විට.

සුදුසු කාලය:

කමල් සන්සුන්ව සිටින මොහොතක, ඔවුන් දෙදෙනා පමණක් සිටින අවස්ථාවක, සමහර විට ඔහුගේ සෞඛ්‍ය ගැටලුවක් ගැන කතා බහක් ඇති වූ පසුව.

අනෝජා කළ යුත්තේ සුදුසුම කාලය බලා, චෝදනා කරන ස්වරයෙන් නොව, ඔහු ගැන ඇති අවංක සැලකිල්ල පෙන්වමින්, මිත්‍රශීලීව, දුම්පානය නැවැත්වීමෙන් ඔහුගේ ජීවිතයට සහ පවුලට ලැබෙන යහපත් දේ පිළිබඳව අවධාරණය කරමින් (ඔහුට එය ප්‍රයෝජනවත් වන ආකාරය) සංවාදය ආරම්භ කිරීමයි.

උදාහරණ කතාව 2: වැරදි මාර්ගයක යන අයෙකුට ඇත්ත, ප්‍රයෝජනවත් නමුත් අප්‍රිය අවවාදය

රවී නැමති තරුණයෙක් වැරදි පුද්ගලයන් ඇසුරු කරමින්, සමාජයට හානිකර ක්‍රියාවලට යොමු වෙනවා. මෙය ඔහුගේ අනාගතයට ඉතාමත් අයහපත් බවත්, ඔහුට ඉක්මනින්ම කරදරයකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඇත්තක්. ඔහුගේ මාමා කෙනෙක් වන සුගත් මහතා මේ බව දන්නවා. රවීව මේ මාර්ගයෙන් මුදවා ගැනීම ඔහුට ප්‍රයෝජනවත් වන දෙයක්. නමුත් රවී හිතන්නේ ඔහු කරන්නේ හරි දේ කියා වන අතර, වැඩිහිටියන්ගේ අවවාදවලට ඇහුම්කන් දීමට ඔහු අකමැතියි. එබැවින් ඔහු යන වැරදි මාර්ගය ගැන කතා කිරීම රවීට අප්‍රිය, කෝපයට කරුණක් විය හැකියි.

මෙවැනි අවස්ථාවක, අභය සූත්‍රයේ තුන්වන කරුණට අනුව, සුගත් මාමා කළ යුත්තේ එම ඇත්ත සහ ප්‍රයෝජනවත් කතාව, රවීට අප්‍රිය විය හැකි නිසා, සුදුසුම කාලය සහ ක්‍රමය බලා පැවසීමයි.

නුසුදුසු කාලය:

රවී ඔහුගේ මිතුරන් සමඟ සිටින විට, නැතහොත් ඔහු ඉතාම සතුටින් හෝ උද්දාමයෙන් සිටින මොහොතක.

සුදුසු කාලය:

රවී තනිව සිටින විට, ඔහුගේ යම් ගැටලුවක් ගැන ඔහු කතා කරන විට, නැතහොත් රවී විශ්වාසය තබන වෙනත් කෙනෙකු (උදා: දෙමාපියන්) සමග එක්ව මෙම කතාව ආරම්භ කල හැක.

මෙහිදී සුගත් මාමා කළ යුත්තේ සුදුසුම කාලය සහ අවස්ථාව බලා, කෑ ගැසීමෙන් හෝ තර්ජනය කිරීමෙන් තොරව, රවීගේ අනාගතය ගැන තමාට ඇති අවංක බිය සහ සැලකිල්ල ප්‍රකාශ කරමින්, වැරදි මාර්ගයේ යාමේ ප්‍රතිවිපාක (රවීට එයින් වන හානිය – ප්‍රයෝජනවත් නොවන බව) පිළිබඳව වක්‍රාකාරව හෝ සෘජුව (නමුත් මෘදුව) පහදා දීමට උත්සාහ කිරීමයි. සමහර විට තමා දන්නා වෙනත් අයෙකුට වූ අකරතැබ්බයක් ගැන කතාවක් කීම වැනි ක්‍රමයක් වුවද භාවිතා කළ හැකි වේ.

ඉහත දක්වා ඇති මෙම උදාහරණ දෙකෙන්ම පෙන්වන්නේ, සත්‍යය සහ අනුන්ට ප්‍රයෝජනවත් වන දේ පවා පවසන විට, එය අනුන්ට අප්‍රිය විය හැකි නම්, සුදුසුම කාලය, ස්ථානය සහ ක්‍රමවේදය තෝරා ගැනීම ඉතා වැදගත් බවයි.

4

යං තථාගතො වාචං ජානාති අභූතං අතච‍්ඡං අනත්‍ථසංහිතං සා ච පරෙසං පියා මනාපා, න තං තථාගතො වාචං භාසති.

යම් කතාවක් බොරුවක් නම්, එහි සත්‍යතාවයක් නැත්නම්, ප්‍රයෝජනවත් නැත්නම්, සහ අනුන්ට ප්‍රියයි, කැමැති නම් – එවැනි කතාවක්ද තථාගතයන් වහන්සේ කතා නොකරන සේක. (බොරු, නිෂ්ඵල, ප්‍රිය දේ පවා කියන්නේ නැත).

මෙම සංසිද්ධිය අප සමාජයේ බොහෝවිට සිදුවේ.

උදාහරණ කතාව:

විශ්ව විද්‍යාලයක හෝ උසස් අධ්‍යාපන ආයතනයක කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරන වසිකා පතිරත්න මහත්මිය, දැනුම අතින් ඉහළ වුවත්, ඉතා ආත්මාර්ථකාමී, අනිත් කථිකාචාර්යවරුන් සමග සහයෝගයෙන් කටයුතු නොකරන, දේශන පවත්වන ආකාරය එතරම් ප්‍රසන්න නොවන, කළමනාකරණ දුර්වලතා ඇති, අනිත් අයව පාච්චල් කරන සහ ඉහළ නිලධාරීන්ට කේළම් කියන අයෙකි. ඇය තමා ගැන අධි තක්සේරුවෙන් යුතුව “ජාතික සම්පතක්” යැයි පවසා ගත්තද, ඇගේ දුර්වල වැඩ කටයුතු නිසා ඇය රහසින් සමාජයේ සමච්චලයට ලක් වේ.

එහෙත්, එම ආයතනයේ අධ්‍යක්ෂවරයා, වසිකා මහත්මියගෙන් තමන්ට ලැබෙන යම් යම් පෞද්ගලික වාසි නිසා, ආයතනයේ අනෙක් විද්වත් කණ්ඩායම් සහ සාර්ථකව කටයුතු කරන අනෙකුත් කථිකාචාර්යවරුන් ඉදිරියේ පවා, වසිකා මහත්මිය ගැන සත්‍යයට හාත්පසින්ම විරුද්ධ අදහස් ප්‍රකාශ කරයි.

අධ්‍යක්ෂවරයා මෙසේ පවසයි

“අපේ ආයතනයේ ඉන්න දක්ෂම, කාර්යශූරම කථිකාචාර්යවරියක් තමයි වසිකා මහත්මිය. ඇගේ දේශන ඉතාමත් සිත් ඇදගන්නාසුළුයි, සිසුන් ඉතාම කැමැතියි. ඇය තමයි අපේ වැඩ කටයුතු ඔක්කොම හොඳට කළමනාකරණය කරන්නේ. ඇය වගේ කෙනෙක් අපිට හිටීම ජාතික සම්පතක් වගෙයි.”

දැන් අපි බලමු අධ්‍යක්ෂවරයාගේ මෙම කතාව අභය සූත්‍රයේ සිව්වන කරුණට ගැළපෙනවාද කියා:

කතාව බොරුවක් ද / ඇත්ත නැත්ද?

ඔව්, අධ්‍යක්ෂවරයා පවසන දේ සම්පූර්ණයෙන්ම බොරුවකි. වසිකා මහත්මියගේ සැබෑ ස්වභාවය සහ වැඩ කිරීමේ ආකාරය මෙයට හාත්පසින්ම වෙනස්ය.

කතාව ප්‍රයෝජනවත් නැත්ද?

ඔව්, මෙම කතාව කිසිදු ප්‍රයෝජනයක් ගෙන එන්නේ නැත. මෙය ඇසීමෙන් වසිකා මහත්මියගේ වැරදි චර්යා නිවැරදි වන්නේ නැත, ඇය දිගටම එලෙසම හැසිරේ. දක්ෂ අනිත් කථිකාචාර්යවරුන්ට මෙය අසාධාරණයකි. වසිකා මහත්මියගේ දුර්වලතා නිසා ආයතනයේ වැඩ කටයුතුවලටත් හානි විය හැකියි.

කතාව අනුන්ට (වසිකා මහත්මියට) ප්‍රිය ද?

ඔව්, වසිකා මහත්මිය තමා ගැන කරන මෙවැනි වැරදි වර්ණනාවලට ඉතා කැමතියි. මේ අනුව, අධ්‍යක්ෂවරයාගේ මෙම කතාව බොරුවක් වන අතර, එයින් ආයතනයට හෝ අන් අයට කිසිදු ප්‍රයෝජනයක් නැත. නමුත් එය අනුන්ට (මෙහිදී විශේෂයෙන් වසිකා මහත්මියට) ඉතා ප්‍රියයි.

එබැවින්, අභය සූත්‍රයේ සිව්වන කරුණට අනුව, බුදුරජාණන් වහන්සේ එවැනි කතාවක් කිසිසේත්ම කතා නොකරන සේක. බොරු සහ නිෂ්ඵල දේවල් කෙතරම් ප්‍රිය වුවත්, සත්‍යවාදී සහ ප්‍රයෝජනවත් නොවේ නම්, ඒවා කතා නොකළ යුතු බව මෙයින් පැහැදිලි වේ.

5

යම‍්පි තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අනත්‍ථසංහිතං. සා ච පරෙසං පියා මනාපා, තම‍්පි තථාගතො වාචං න භාසති.

යම් කතාවක් ඇත්තක් වුවත්, ප්‍රයෝජනවත් නැත්නම්, සහ අනුන්ට ප්‍රියයි, කැමැති නමුදු එවැනි කතාවක්ද තථාගතයන් වහන්සේ කතා නොකරන සේක.(ඇත්ත සහ ප්‍රිය වුවත්, නිෂ්ඵල දේ කියන්නේ නැත).

සමහර කතා සත්‍ය වේ. එසේම කතා කරන්නට ප්‍රිය ද වේ. එහෙත් කිසිදු ප්‍රයෝජනයත් නැ. එවැනි කතා නිතර අපි කරන්නෙමු. සැබවින්ම ඒවා හිස් වචන වේ. එසේම නිෂ්පල ද වේ.

උදාහරණ කතාව 2: ඇත්ත, ප්‍රිය, එහෙත් නිෂ්ඵල කුඩා කතාවක්

අපි හිතමු කාර්යාලයේ සේවය කරන දෙදෙනෙක් – සමන් සහ සුජාතා – විවේක වේලාවේදී හමුවෙනවා කියලා. අහස පැහැදිලියි, හිරු එළිය වැටෙනවා. මෙය ඇත්තක්. මෙවැනි දේවල් ගැන කතා කිරීම සාමාන්‍යයෙන් අනුන්ට ප්‍රියජනකයි.

සමන් සුජාතාට කියනවා: “අද නම් කාලගුණය හරිම ලස්සනයි නේද?”

සුජාතා: “ඔව් සමන්, ඇත්තටම හරිම ප්‍රසන්න දවසක්!”

දැන් අපි බලමු මේ කතාව පස්වන කරුණට ගැළපෙනවාද කියා

කතාව ඇත්තක් ද?

ඔව්, කාලගුණය ඇත්තටම ලස්සනයි.

කතාව ප්‍රයෝජනවත් නැත්ද?

ඔව්, මේ කතාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. මෙය අලුත් තොරතුරක් සපයන්නේ නැහැ, කිසිදු ගැටලුවක් විසඳන්නේ නැහැ, කිසිදු කාර්යයක් සඳහා මග පෙන්වන්නේ නැහැ. එය හුදෙක් කාලය ගත කිරීම සඳහා කරන නිෂ්ඵල කුඩා කතාවකි.

කතාව අනුන්ට (සුජාතාට) ප්‍රිය ද?

ඔව්, පොදු, ප්‍රසන්න දේවල් ගැන කතා කිරීම සාමාන්‍යයෙන් අනුන්ට ප්‍රියයි,

සන්නිවේදනය පවත්වාගෙන යාමට උදව් විය හැකි නමුත්, එහි සෘජු ප්‍රයෝජනයක් නැත.

මේ අනුව, මෙම කතාව ඇත්තක් වන අතර, එය අනුන්ට (සුජාතාට) ප්‍රියයි. නමුත් එයින් කිසිදු සෘජු ප්‍රයෝජනයක් නැත. එබැවින්, අභය සූත්‍රයේ පස්වන කරුණට අනුව, එවැනි කතාවක්ද තථාගතයන් වහන්සේ කතා නොකරන සේක. ඇත්ත සහ ප්‍රිය වුවත්, නිෂ්ඵල දේ කෙරෙහි ඇලී නොසිටිය යුතුය.

6

යඤ‍්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අත්‍ථසංහිතං. සා ච පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ‍්ඤෑ තථාගතො හොති තස‍්සා වාචාය වෙය්‍යාකරණාය.

යම් කතාවක් ඇත්තක් නම්, ප්‍රයෝජනවත් නම්, සහ අනුන්ට ප්‍රියයි, කැමැති නම් – එවිටද එම කතාව කතා කිරීමට සුදුසුම කාලය (කාලය පිළිබඳ ඥානය ඇතිව) තථාගතයන් වහන්සේ විසින්ම තෝරා ගන්නා සේක. (ඇත්ත, ප්‍රයෝජනවත් සහ ප්‍රිය දේ සුදුසුම වෙලාව බලා පවසයි).

හොඳයි, අභය සූත්‍රයේ හයවන සහ අවසාන කරුණ වන “යම් කතාවක් ඇත්තක් නම්, ප්‍රයෝජනවත් නම්, සහ අනුන්ට ප්‍රියයි, කැමැති නම් – එවිටද එම කතාව කතා කිරීමට සුදුසුම කාලය… තථාගතයන් වහන්සේ විසින්ම තෝරා ගන්නා සේක” යන්න තේරුම් ගැනීමට පහත උදාහරණ කතාවක් දක්වා ඇත.

මෙහිදී වැදගත් වන්නේ, කතාව ඇත්තක් වීමත්, එය ප්‍රයෝජනවත් වීමත්, සහ අනුන්ට ප්‍රිය වීමත් යන ගුණාංග තුනම ඇති විට පවා, බුදුරදුන් එම කතාව පවසන විට සුදුසුම කාලය තෝරා ගන්නා බවයි. මෙය සූත්‍රයේ සඳහන් සුභාෂිත (යහපත් වචනය) ගුණය සම්පූර්ණ වන අවස්ථාවයි. සුදුසු කාලය තෝරා ගැනීමෙන් එම වචනයේ ඵලදායීතාවය තව තවත් වැඩි වේ.

උදාහරණ කතාව

මාලි කියන තරුණියට හොඳින් චිත්‍ර අඳින්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඇය එම හැකියාව තව තවත් වර්ධනය කර ගැනීමට මහන්සි වෙනවා. ඇගේ මාමා කෙනෙක් වන දයා මහතා මාලිගේ දක්ෂතාවය සහ ඇය ඒ සඳහා දරන උත්සාහය හොඳින් දන්නවා. මෙය ඇත්තක්. මාලිට ඇගේ හැකියාව වර්ධනය කර ගැනීමට දිරිගැන්වීම සහ ඒ සඳහා සුදුසු මග පෙන්වීමක් ලබා දීම ඇයට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. තමාගේ උත්සාහය අගය කිරීම සහ ධනාත්මක ප්‍රතිචාර ලැබීම මාලිට ඉතාමත් ප්‍රියජනක, සතුටුදායක දෙයක්.

දයා මහතාට අවශ්‍ය මාලිට මේ පිළිබඳව පවසා ඇයව තව තවත් දිරිගැන්වීමටයි.

නුසුදුසු කාලය:

මාලි විභාගයකට පාඩම් කරමින් දැඩි ආතතියෙන් සිටින විට, නැතහොත් පිරිසක් මැද ඇයව අපහසුතාවයට පත් වන ආකාරයෙන් (විශේෂයෙන් ඇය ලැජ්ජාශීලී අයෙක් නම්) මේ ගැන කතා කිරීම.

සුදුසු කාලය:

මාලි චිත්‍රයක් ඇඳ අවසන් වූ පසුව, සන්සුන්ව විවේකයෙන් සිටින මොහොතක, ඔවුන් දෙදෙනා පමණක් සිටින විට, නැතහොත් ඇය අඳිමින් සිටින විට පවා, ඇයව බාධා නොවන පරිදි සුහදශීලීව ලං වීමයි.

දයා මහතා කළ යුත්තේ සුදුසුම කාලය සහ අවස්ථාව බලා, මාලිගේ චිත්‍රයක් නරඹා, ඇය ඒ සඳහා දරන උත්සාහය ගැන සතුට පළ කර, ඇගේ සැබෑ දක්ෂතාවය පිළිබඳව පැහැදිලිව පවසා (එය ඇත්තක් බව පෙන්වා), එම හැකියාව තව දුරටත් වර්ධනය කර ගැනීමට ඇයට කළ හැකි දේ (උදා: පාඨමාලාවක් හැදෑරීම, වැඩිපුර පුහුණු වීම) පිළිබඳව යෝජනා කරමින් (ප්‍රයෝජනවත් දේ පවසා), ඒ සියල්ල ඉතාමත් ආදරණීය, දිරිගන්වන ස්වරයෙන් (ප්‍රියජනක වන අයුරින්) පැවසීමයි.

මෙම කතාවේදී, දයා මහතාට පැවසීමට අවශ්‍ය කතාව

ඇත්තක්:

මාලිට ඇත්තටම චිත්‍ර ඇඳීමේ හැකියාව සහ උත්සාහය තිබේ.

ප්‍රයෝජනවත්:

එම හැකියාව වර්ධනය කර ගැනීමට දිරිගැන්වීම සහ මග පෙන්වීම මාලිගේ අනාගතයට ප්‍රයෝජනවත් වේ.

අනුන්ට (මාලිට) ප්‍රිය:

තමාගේ උත්සාහය සහ දක්ෂතාවය අගය කිරීම මාලිට ඉතාමත් ප්‍රියජනක දෙයකි.

මෙම ගුණාංග තුනම ඇති බැවින්, අභය සූත්‍රයේ හයවන කරුණට අනුව, දයා මහතා මෙම කතාව කතා කළ යුතුය. එසේ කතා කරන විට, එම වචනවල උපරිම ඵලදායීතාවය සඳහා (කාලඤ්ඤූ භාවයෙන්), ඔහු සුදුසුම කාලය සහ ක්‍රමය තෝරා ගනී.

මේ අනුව, අභය සූත්‍රයේ හයවන කරුණෙන් පෙන්වා දෙන්නේ, සත්‍ය, ප්‍රයෝජනවත් සහ ප්‍රිය වන උතුම් වචන පවා, ඒවා වඩාත් ඵලදායී වන අයුරින්, සුදුසුම මොහොතේදී ප්‍රකාශ කිරීමේ වැදගත්කමයි. බුදුරජාණන් වහන්සේ මෙවැනි අවස්ථා මනාව දැන සිටි සේක.

6

යඤ‍්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අත්‍ථසංහිතං. සා ච පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ‍්ඤෑ තථාගතො හොති තස‍්සා වාචාය වෙය්‍යාකරණාය.

යම් කතාවක් ඇත්තක් නම්, ප්‍රයෝජනවත් නම්, සහ අනුන්ට ප්‍රියයි, කැමැති නම් – එවිටද එම කතාව කතා කිරීමට සුදුසුම කාලය (කාලය පිළිබඳ ඥානය ඇතිව) තථාගතයන් වහන්සේ විසින්ම තෝරා ගන්නා සේක. (ඇත්ත, ප්‍රයෝජනවත් සහ ප්‍රිය දේ සුදුසුම වෙලාව බලා පවසයි).

හොඳයි, අභය සූත්‍රයේ හයවන සහ අවසාන කරුණ වන “යම් කතාවක් ඇත්තක් නම්, ප්‍රයෝජනවත් නම්, සහ අනුන්ට ප්‍රියයි, කැමැති නම් – එවිටද එම කතාව කතා කිරීමට සුදුසුම කාලය… තථාගතයන් වහන්සේ විසින්ම තෝරා ගන්නා සේක” යන්න තේරුම් ගැනීමට පහත උදාහරණ කතාවක් දක්වා ඇත.

මෙහිදී වැදගත් වන්නේ, කතාව ඇත්තක් වීමත්, එය ප්‍රයෝජනවත් වීමත්, සහ අනුන්ට ප්‍රිය වීමත් යන ගුණාංග තුනම ඇති විට පවා, බුදුරදුන් එම කතාව පවසන විට සුදුසුම කාලය තෝරා ගන්නා බවයි. මෙය සූත්‍රයේ සඳහන් සුභාෂිත (යහපත් වචනය) ගුණය සම්පූර්ණ වන අවස්ථාවයි. සුදුසු කාලය තෝරා ගැනීමෙන් එම වචනයේ ඵලදායීතාවය තව තවත් වැඩි වේ.

උදාහරණ කතාව

මාලි කියන තරුණියට හොඳින් චිත්‍ර අඳින්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඇය එම හැකියාව තව තවත් වර්ධනය කර ගැනීමට මහන්සි වෙනවා. ඇගේ මාමා කෙනෙක් වන දයා මහතා මාලිගේ දක්ෂතාවය සහ ඇය ඒ සඳහා දරන උත්සාහය හොඳින් දන්නවා. මෙය ඇත්තක්. මාලිට ඇගේ හැකියාව වර්ධනය කර ගැනීමට දිරිගැන්වීම සහ ඒ සඳහා සුදුසු මග පෙන්වීමක් ලබා දීම ඇයට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්. තමාගේ උත්සාහය අගය කිරීම සහ ධනාත්මක ප්‍රතිචාර ලැබීම මාලිට ඉතාමත් ප්‍රියජනක, සතුටුදායක දෙයක්.

දයා මහතාට අවශ්‍ය මාලිට මේ පිළිබඳව පවසා ඇයව තව තවත් දිරිගැන්වීමටයි.

නුසුදුසු කාලය:

මාලි විභාගයකට පාඩම් කරමින් දැඩි ආතතියෙන් සිටින විට, නැතහොත් පිරිසක් මැද ඇයව අපහසුතාවයට පත් වන ආකාරයෙන් (විශේෂයෙන් ඇය ලැජ්ජාශීලී අයෙක් නම්) මේ ගැන කතා කිරීම.

සුදුසු කාලය:

මාලි චිත්‍රයක් ඇඳ අවසන් වූ පසුව, සන්සුන්ව විවේකයෙන් සිටින මොහොතක, ඔවුන් දෙදෙනා පමණක් සිටින විට, නැතහොත් ඇය අඳිමින් සිටින විට පවා, ඇයව බාධා නොවන පරිදි සුහදශීලීව ලං වීමයි.

දයා මහතා කළ යුත්තේ සුදුසුම කාලය සහ අවස්ථාව බලා, මාලිගේ චිත්‍රයක් නරඹා, ඇය ඒ සඳහා දරන උත්සාහය ගැන සතුට පළ කර, ඇගේ සැබෑ දක්ෂතාවය පිළිබඳව පැහැදිලිව පවසා (එය ඇත්තක් බව පෙන්වා), එම හැකියාව තව දුරටත් වර්ධනය කර ගැනීමට ඇයට කළ හැකි දේ (උදා: පාඨමාලාවක් හැදෑරීම, වැඩිපුර පුහුණු වීම) පිළිබඳව යෝජනා කරමින් (ප්‍රයෝජනවත් දේ පවසා), ඒ සියල්ල ඉතාමත් ආදරණීය, දිරිගන්වන ස්වරයෙන් (ප්‍රියජනක වන අයුරින්) පැවසීමයි.

මෙම කතාවේදී, දයා මහතාට පැවසීමට අවශ්‍ය කතාව

ඇත්තක්:

මාලිට ඇත්තටම චිත්‍ර ඇඳීමේ හැකියාව සහ උත්සාහය තිබේ.

ප්‍රයෝජනවත්:

එම හැකියාව වර්ධනය කර ගැනීමට දිරිගැන්වීම සහ මග පෙන්වීම මාලිගේ අනාගතයට ප්‍රයෝජනවත් වේ.

අනුන්ට (මාලිට) ප්‍රිය:

තමාගේ උත්සාහය සහ දක්ෂතාවය අගය කිරීම මාලිට ඉතාමත් ප්‍රියජනක දෙයකි.

මෙම ගුණාංග තුනම ඇති බැවින්, අභය සූත්‍රයේ හයවන කරුණට අනුව, දයා මහතා මෙම කතාව කතා කළ යුතුය. එසේ කතා කරන විට, එම වචනවල උපරිම ඵලදායීතාවය සඳහා (කාලඤ්ඤූ භාවයෙන්), ඔහු සුදුසුම කාලය සහ ක්‍රමය තෝරා ගනී.

මේ අනුව, අභය සූත්‍රයේ හයවන කරුණෙන් පෙන්වා දෙන්නේ, සත්‍ය, ප්‍රයෝජනවත් සහ ප්‍රිය වන උතුම් වචන පවා, ඒවා වඩාත් ඵලදායී වන අයුරින්, සුදුසුම මොහොතේදී ප්‍රකාශ කිරීමේ වැදගත්කමයි. බුදුරජාණන් වහන්සේ මෙවැනි අවස්ථා මනාව දැන සිටි සේක.

copyright: www.emansala.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

කන්දරක සූත්‍රය | සැබෑ සැපත සොයා යන මානව ගමන

කන්දරක සූත්‍රය | සැබෑ සැපත සොයා යන මානව ගමනකන්දරක සූත්‍රය | සැබෑ සැපත සොයා යන මානව ගමන

මානව ජීවිතයේ මූලිකම අභිලාෂයන්ගෙන් එකක් වන්නේ සැපත සහ සතුට ළඟා කර ගැනීමයි. යුගයෙන් යුගයට, සංස්කෘතියෙන් සංස්කෘතියට, පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම සැපත පිළිබඳ නිර්වචනයන් සහ එය ළඟා කර ගැනීමේ මාර්ගයන් වෙනස් වුවද,

ජීවිතයේ ඉලක්ක සහ තමෝතම පරායන සූත්‍රයේ මඟපෙන්වීම

ජීවිතයේ ඉලක්ක සහ තමෝතම පරායන සූත්‍රයේ මඟපෙන්වීමජීවිතයේ ඉලක්ක සහ තමෝතම පරායන සූත්‍රයේ මඟපෙන්වීම

සෑම මිනිසකුටම ජීවිතයේ යම් කිසි ඉලක්කයක් හෝ බලාපොරොත්තුවක් පවතී. එය අධ්‍යාපනය, රැකියාව, පවුල් ජීවිතය හෝ ආධ්‍යාත්මික දියුණුව වැනි ඕනෑම ක්ෂේත්‍රයකට අදාළ විය හැකියි. මෙම ඉලක්ක කරා ළඟා වීම සඳහා නිවැරදි

සාර්ථක හා සතුට පිරි පවුල් ජීවිතයක මූලික පදනම: අඹුසැමි සබඳතාව සහ පඨම සංවාස සූත්‍රය

සාර්ථක හා සතුට පිරි පවුල් ජීවිතයක මූලික පදනම | අඹුසැමි සබඳතාව සහ පඨම සංවාස සූත්‍රයසාර්ථක හා සතුට පිරි පවුල් ජීවිතයක මූලික පදනම | අඹුසැමි සබඳතාව සහ පඨම සංවාස සූත්‍රය

පවුල් ජීවිතය මානව සමාජයේ මූලිකම ඒකකය වන අතර, එහි පැවැත්ම සහ සෞභාග්‍යය සමස්ත සමාජයේම දියුණුවට සෘජුවම බලපායි. ශක්තිමත් පවුල් යනු ස්ථාවර සමාජයක පදනම වන අතර, පුද්ගලයාගේ මානසික, ශාරීරික හා අධ්‍යාත්මික